ටැග

,

සීසන් එකක් ඇරගෙන උදේ පාන්දර ඉස්කෝලෙට සී.ටී.බී. එකකින් යන අය දන්නව ඇතිනෙ එහෙම යන්න තියෙන අමාරුව. මමත් ඒ විදිහට සීසන් එකක් ඇරගෙන සී.ටී.බී වල යන එකෙක් හැටියට සී.ටී.බී. ගැන ගුණ වැයුමක් කරන්න කියල හදන්නෙ.

ඹය කියන ජාතියෙ බස් අපේ පැත්තට වැඩිය නෑ. උදේට ඉස්කෝලෙ යන වෙලාවට යන්න පුලුවන් විදිහෙ බස් අහුවෙන්නෙ දෙකක් විතර. අනිත් ඒව දුර යන බස් (කොළඹ-අනුරාධපුරය, කොළඹ-කැකිරාව වගේ ඒවා). කොහොම හරි ඔය යන්න පුලුවන් විදිහෙ බස් දෙකත් ආත්මෙකට නවත්තන්නෙ නෑ. පාරට මැද්දට වෙලා අත දැම්මත් කොහෙන් හරි නවත්තන්නෙ නැතුව යනව. ඒ නිසා ඉතිං උදේ වරුව හැමදාම වගේ යන්නෙ ප්‍රයිවට් එව්වගෙ තමා. හැබැයි ඔය බස් නවත්තන වෙලාවලුත් තියෙනව. ලස්සන ගෑණු කෙනෙක් එහෙම ‍හෝල්ට් එකක හිටියොත් අත දාන්න ඕනෙත් නෑ අනිව කකුල් දෙක ගාවම නවත්තනවා. මුන්ට හෙන ගහන්න ඕන මේ කරන අපරාදෙට.

උදේට යන්න බැරි වුනත් හවසටනම් කොහොම හරි සී.ටී.බී. තමයි. සමහර දවස් වලට ඉස්කෝලෙ ඇරිල පැයක් එක හමාරක් විතර බලා‍‍ගෙන ඉන්නව බස් එනකම්. ඔහොම වේලිලා වේලිලා ඉඳල එන බස් එකේ සීට් එකක් අල්ලගන්න ස්ටෑන්ඩ් එකට දාන්න කලින් බස් එකට නගින්න ඕනෙ. එච්චරකට සී.ටී.බී. යන්න කට්ටිය බලාගෙන ඉන්නව. කොහොම හරි බස් එකක් ආව කියමුකෝ, සමහර දවස් වලට සීසන් වලින් යන එවුන්ට බස් එකට නගින්න දෙන්නෙ නෑ. යනකොට නගින්නලු. එතකොට තමා මුන්ගෙ අම්මල තාත්තල මතක් වෙන්නෙ.

කොන්ද කියන්නෙ කොහෙ හරි තැනකින් (උදාහරණයක් විදිහට ගත්තොත් කුරුණෑගල-කෑගල්ල බස් එකේ: පොල්ගහවෙල) එහාට යන එවුන් විතරක් එන්නලු. ඇයි යකෝ මුන් එතනට යනකම් යන්නෙ උඩින්ද? ඔය වගේ කේස් වලට කඩ කැඩෙනකම් අපි කෑ ගහල ඇති. බස් නවත්තන්නෙ නැති වුනාම බස් වලට ගහපු කේසුත් හෙන ගොඩක් තියෙනව.

ඔය ඔක්කොම මගුල් කරල කොහොම හරි බස් එකට නැග්ග කියමුකො ඊට පස්සෙ කොන්ද කෑ ගහනව “ඔය පොල්ල අල්ලගෙන ඉන්න මල්ලි ‍ඉස්සරහට යන්න” කියල. ඒ වෙලාවට තමා කොන්දව බස් එකෙන් එලියට තල්ලු කරන්න හිතෙන්න. මුලින්ම පටන් ගන්නෙ “දෙපැත්තෙන් ඉස්සරහට යන්න දොර ගාව ඉන්නෙ නැතුව” කියල. “දෙපැත්තෙන් පේළි දෙකා…යි” තව ටිකක් ලෝඩ් එක වැඩිවෙද්දි “දෙපැත්තෙන් පේළි දෙකායි, මැද්දෙන පේළියා….යි” තව ලෝඩ් එක වැඩිවෙද්දි “දෙපැත්තෙන් පේළි දෙකායි, මැද්දෙන් පේළි දෙකා…යි”  ඒ වෙලාවට අපේ එවුන් කෑ ගහල කියනව “තව ටිකක් වෙලා යද්දි දෙපැත්තෙන පේළි දෙකයි, මැද්දෙන් පේළි දෙකයි, ඊට මැද්දෙන් තව පේළියයි” කියල.

ඉතිං අපිට සී.ටී.බී. එකක හොදක් කියල කියන්න තියෙන්නෙ ටිකක් අඩුවට යන්න පුලුවන් කමයි, ඉක්මනට යන එකයි විතරයි. සැප පහසුකම් ගැනනම් කියල වැඩක් නෑ. ‍මොන දේ වුනත් අපි සී.ටී.බී. එකක් තියෙද්දි කවදාවත් ප්‍රයිවට් බස් වලනම් යන්නෙ නෑ.