ටැග

, ,

මේ සිද්ධිය මතක් වුනේ අද කතන්දර ලියල තිබ්බ මෙහිදින් බෙග් ගැන ලිපිය නිසා. මේක වුනේ අපි සාමාන්‍යය පෙළ කරන කාලෙ. ඔය ඕ/ලෙවල් කාලෙ අවසන් බාගෙ ඉගෙන ගන්න එවුන් එක පැත්තකට සෙට් වෙලා පාඩම් කරනව. එහෙම එවුන් ගොඩක් වෙලාවට ඉස්කෝලෙ එන්නෙත් නෑ. 80% කියල එකකුත් නෑනෙ.

*80% ගැන කියපු නිසා මතක් වුනේ. අයිය කෙනෙක් එකක් කතා කර කර ඉන්න වෙලාවක් ඌ කියනව “මල්ලි ඕ/ලෙවල් කරනව කියල හැමදාම ඉස්කෝලෙ එන්න ඕනෙ නෑ. මං දිහා බලපංකෝ. ඒ දවස් වල පේරන්ඩ්ස් මීටින් එකට අපේ තාත්ත එනව මම ඉස්කෝලෙ යන්නෙ නෑ.”

ඒක අතුරු කතාවක්. ඉතිං 11 වසරෙ අන්තිමේට පංතියේ ළමයිනුත් අඩු නිසා කරන්නෙ සිංදු කයන එක තමා. සිංදුවක් තියා තාලෙකට ඩෙස්ක් එකකටවත් ගහගන්න බැරි වුනාට මට ඒව අහගෙන ඉන්නනම් පුලුවන්. ඔය සිංදු කියන්න සෙට් වෙන එක අස්සෙ හොඳ මීටර් එහෙමත් ඉන්නව. එහෙම මීටර් පොරකට තමයි මේ වැඩේ වුනේ.

සිංදු කියද්දි එකක් ඉවර වෙද්දිම තව එකක් පටන් ගන්න ඕනෙ. නැත්නම් බීට් එක කාලා, සිංදු කිය කියා හිටපු එවුන් වෙන වැඩ වලට සෙට් වෙලා තියෙන ආතල් එක එහෙන් පිටින්ම ඉවරයි. දැන් සිංදු කිය කිය ආතල්‍ එකේ යනව. එක සිංදුවක් ඉවර වුනා. අලුත් සිංදුවක් එක පාරටම මතක් වෙන්නෙත් නෑ. ඩෙස්ක් වලට තට්ටු කරන එක එක පා‍රටම නැවැත්තුවෙ නැති වුනත් හෙමීට සද්දෙ අඩු වේගෙන යන්නෙ. ඔය අස්සෙ තමයි අර මීටර් පොරට සිංදුවක් මතක් වෙන්නෙ. ඌ පැනපු ගමන්

සුව‍‍‍‍‍‍ඳේ…

කියල සිංදුව පටන් ගත්තා. ඩෙස්ක් වලට තට්ටු කර කර හිටපු එවුන් එක පාරටම වැඩේ නවත්තල මූ දිහා බලාගෙන ඉන්නව නිකන් කන්න වගේ. එතකොට තමයි මටත් වැඩේ මීටර් වුනේ. මිනිහ මොහිදින් බෙග්ගේ සිංදුවක් කයන්න පටන් ගෙන තියෙන්නේ. හැබැයි “සුව දේ…” කියන ව‍චනේ වෙනුවට කියල තියෙන්නෙ “සුව ‍ඳේ…” කියල. ඔය වැඩෙන් පස්සෙ ඌට ටික කාලෙකට සුවඳා කියල කාඩ් එකකුත් වැටිල තිබ්බ.

ප.ලි. දැන් කවුරුත් අහන්න එපා ඒ වචන දෙකේ තියෙන වැරැද්ද මොකක්ද කියල . කොහෙන් හරි සිංදුව හො‍යාගෙන අහලම බලන්න.