ටැග

මොකක් හරි ඉස්කෝලෙක විද්‍යා සංගමය කියන්නෙ ඉස්කෝලෙ තියන ලොකුම සංගම් වලින් එකක්. ඒකෙනුත් විද්‍යා දිනය කියන්නෙ ඉස්කෝලෙක ති‍යෙන හොඳම දිනය කියලත් කියන්න පුලුවන්. සාමාන්‍යයෙන් විද්‍යා සංගමයෙ සාමාජිකත්ව තියෙන්නෙ ඉස්කෝලෙ ගණිත විද්‍යා කරන උ/පෙළ අංශයට විතරයි (අපේ ඉස්කෝලෙනම් එහෙමයි).

ඒත් මමයි මගේ යාළුවො දෙන්නෙකුයි විද්‍යා දිනයට සම්බන්ධ වුනේ 10 වසරෙදිමයි. ඒ ග්‍රැෆික් නිර්මාණ වලටයි, ත්‍රිමාණ සජීවීකරණ වලටයි සහය ගන්න. මේකෙන් කියන්න හදන්නෙ අපි ඒ තරම් දක්ෂ අය කියල නෙවෙයි. ඒත් අපේ ඉස්කෝලෙ අපිට තරම්වත් පුලුවන් අය ඉන්න නැතුව ඇති. 10 වසරෙදි අයියල ලියුම් ලියාගෙන ඇවිත් අපිව පංති වලින් එක්කගෙන ගිහින් ඒ නිර්මාණ කරගත්තා. මමත් ඒ වගේ දේවල් කරන්න තියන ආසාව නිසාම අවස්ථාවෙන්ප්‍රයෝජන ගත්තා. පීරියඩ් කට් කරගෙන ඕව කරපු එකේ එක් ප්‍රතිඵලයක් තමයි මට තාම රසායන විද්‍යාවෙ මුල් කොටස් බෑ. මුල බෑ කියන්නෙ අග ගැන කවර කතාද. මට සෙට් වුනෙ CD එකක් හදන්න. ඒ දවස් වල Adobe Flash ටිකක් ඔලුවට ගහල තිබ්බ එකේ දන්න උපරිම වැඩ දාලා CD එක හදල දුන්නා. ස්තූති කිරීමනම් කෝටියයි. හැබැයි ඒ වැඩ ටික කරාට පස්සෙ අඩුම ගානෙ අපිට අපේ වැඩ ගැන බලාගන්න CD එකේ ‍කොපියක්වත් හම්බ වුනෙ නෑ. ගිහිල්ල ඇහුවත් නෑ කීව.

ඊට පස්සෙ අවුරුද්දෙ, ඒ කියන්නෙ 11 වසරෙදිත් ඔය විදිහටම CD එක හදන්න කියල මට කතා කලා. මම බෑ කියල කිව්වට පස්සෙ සර් කෙනෙක් ඇවිත් කතා කලා. එහෙම කතා කරද්දි බෑ කියන්න බැරි හින්ද ගිහින් වැඩ ටික කලා. ගෙදර හිටපු දවසක කෝල් කරල ඉස්කෝලෙට ගෙන්නගෙන මට කියල වැඩ ටික කරගත්තා. ඒ අයියලත් කලින් වගේමයි. වැඩ ටික කරගත්තට පස්සෙ සී.ඩී. එකේ කොපියක්වත් හම්බ වුනෙ නෑ. ඔය විදිහට 10 වසරෙදිම විද්‍යා සංගමය වෙනුවෙන් වැඩ කරල, කෙමිස්‍ට්‍රි ‍එහෙමත් චාටර් කරගත්තා.

විද්‍යා අංශයෙන් විතරක් නෙවෙයි, මේ විදිහට මාවයි මගේ යාළුවයි ගොඩක් සංගම් වලට කතා කරලම ගෙන්න ගත්ත. ඒ නිකන්ම නෙවෙයි කමිටු සාමාජිකත්වයත් දීලමයි. ඒ ඔක්කොම කරන්නෙ අපෙන් මොකක් හරි වැඩක් කරගන්න. මමත් ග්‍රැෆික් කරන්න තියෙන ආසාවට බෑ නොකිය කතා කරන ඕනම දේකට යනව. ‍‍ඔය විදිහට ග්‍රැෆික් කලා කියල අපිව වෙන කවුරුත් අඳුනගන්නෙ නෑ. අපි වැඩ කරන්නෙ පිට අයට‍ පේන්න නෙවෙයි. අපි වගේම තිරය පිටිපස්සට වෙලා වැඩ කරන තව කොච්චර පිරිසක් ඇත්ද. ඒත් අනිත් අය දැනගන්නෙ විද්‍යා දිනය වගේ දෙයකට ඇවිත් ඇඩ් එකක් එහෙම දාන අයව විතරයි. මොනව හම්බ වුනෙ නැතත්, ඒ කරන දෙයින් ඉස්කෝලෙට මොනව හරි වැදගත් දෙයක්, ඉස්කෝලෙ වෙනුවෙන් දෙයක් කරා කියන්න කවද හරි පුලුවන් වෙයිනෙ.