ටැග

,

අපේ තාත්තගෙ ගම තියෙන්නෙ වේයන්ගොඩ. වේයන්ගොඩිනුත් ටිකක් ඇතුලට වෙන්න ගමක් තමයි. කිරිඅම්මා ඉන්න කාලෙ, අපේ තාත්තගෙ අම්ම ඉන්න කාලෙ අපි ගමට යන්න පුලුවන් අවස්ථාවක් ආව ගමන්ම එහෙ යනව. ඒත් මං 4 වසරෙදි විතර කිරිඅම්ම නැති වුනා. ඊට පස්සෙ අධ්‍යාපන කටයුතුත් එකක් ටිකෙන් ටික එහෙ යන එක අඩු වුනා. සීයා නැති වුනාට පස්සෙ එහෙ යන එක අලුත් අවුරුද්දට විතරක්ම සීමා වුනා. එහෙ ම‍ට පිස්සු කෙලින්න කියල අයියල සෙට් එකක්ම හිටියා. දැන්නම් එයාල රස්සාවල් කරන නිසා අලුත් අවුරුද්දට ගියාටවත් හම්බ වෙන්නෙ නැති තරම්.

කිරිඅම්ම නැති වුනාම මළ ගෙවල් වලදි, නැත්නම් දානෙ ගෙවල් වලදි තමයි පුලුවන් උපරිමේට පිස්සු නැටුවෙ. මොකද අම්මල තාත්තලට අපි ගැන හොයන්නවත් වෙලාවක් නැති තරම් වැඩ නිසා. නිදාගන්නෙ කොහෙද කියලවත් බැලුවෙ නෑ. එහෙම බලන්න උවමනාවක් තිබ්බෙත් නෑ. අයියල සෙට් එකත් එක්ක වැටුනාම කොහෙට හරි වෙලා නිදා ගන්නව කියල දන්න නිසා. ඒ වගේ දවස් වලට වැඩි නින්දකුත් නෑ. දානෙ ගෙදරක් තිබ්බත් කලින් දවසෙ බන ඉවර වෙලා රෑ වෙනකම් කයිය ගගහා ඉන්න එක තමයි වැඩෙ. ඊට පස්සෙ නිදි මත වුනාම කරන්නෙ එක්කො පුටු දෙකක් ලං කර ගන්න එක, නැත්නම් පැදුරක් හොයා ගෙන බිම එලා ගන්න එක. ඒත් නැත්නම් කරන්නෙ තියෙන වාහනේකට නැගල නිදා ගන්න එක. අයියල සෙට් එකෙ 4ක් 5ක් විතර හිටියට නිදා ගන්න යද්දි එකා එකා හැලෙනව. ගොඩක් වෙලාවට ඉතුරු වෙන්නෙ මායි තව අයිය කෙනෙකුයි විතරයි. ඉතිං ‍ගොඩක් වෙලාවට අයිය‍ගෙ අදහස වෙන්නෙ මොකක් හරි වාහනේකට නැගල නිදා ගන්න එක. ඔය කිව්වට වාහන තියෙන්නෙ දෙකක් විතරයි වැඩිම වුනොත්. ඒ අපේ තාත්තගෙ වෑ‍න් එකයි, තව මාමා කෙනෙක්ගෙ වෑ‍න් එකයි. ගොඩක් වෙලාවට නිදාගන්න තෝර ගන්නෙ අපේ තාත්තගෙ වෑන් එක තමයි. වැඩිය කවුරුත් නගින්නෙ නෑ කියල දන්න නිසා ඒක ගොඩක් හොඳයි නිදාගන්න එකට.

සාමාන්‍යයෙන් දානෙ ගෙදරක් එහෙමනම් දානෙට උයන්න මාළු ගේන්නෙ එදා උදේ ගිහින්. මීගමුවට ගොඩක් ලඟ නිසා අලුත් මාළු ගේන්නත් පුලුවන්. එහෙම යන්නෙ උදේ පාන්දරමයි. අඩුම ගානෙ පාන්දර 5.30ටවත් යනව මීගමු. දවසක් මමයී අර අයියයි අපේ තාත්තගෙ වෑන් එකේ නිදා ගත්තා. ඒ දානෙ ගෙදරක් තිබ්බ දවසක් මතක විදිහට. රෑ 1ට 2ට විතර නිදා ගත්ත නිසා 7 විතර වෙනකම්වත් නැගිටින්නෙ නෑ. උදේ යන්නතම් වගේ ඇස් අරිද්දි හීනෙන් වගෙ වාහනෙ යනව තේරුනා. එක පාරටම අර අයියවත් ඇහැරගෙන නැගිටල බලද්දි වා‍‍හනේ සිරාවටම යනව. ඇස් දෙක පොඩි කරල වට පිට බලද්දි තමයි දැක්කෙ අපේ තාත්තයි, තවත් මාමා කෙනෙකුයි වාහනෙ ඉස්සරහ වාඩි වෙලා ඉන්නව.

මමයි අයියයි වෑ‍න් එකේ පිටිපස්සට වෙලා නිදියගෙන ඉන්නව තාත්ත ‍දැකල නෑ. ඉතිං උදේම නැගිටල වෑන් එකත් ඇරගෙන මීගමු ඇවිත් මාළු ගේන්න. පස්සෙ අපි නැගිට්ටහම තමයි තාත්තත් අපිව දැකල තියෙන්නෙ. ඔන්න ඔහොම තමා නින්දෙන්ම මාළු ගේන්න ගියෙ.