ටැග

,

පොඩි කාලෙ ඉස්කෝලෙදි එපාම කරපු චාටර්ම විෂය තමයි දෙමළ. 6 වසරෙ ඉදන් 9 වසරට එනකම් මාව කන්න ආපු විෂයක් තමයි දෙමළ කියන්නෙ. ලංකාවෙ රාජ්‍ය භාෂාවක් කොහෙද දෙමළ කියන්නෙ. ඒ වුනාට මටනම් දෙමළ කිව්වහම නිකන් ඊජිප්තුවට ගියා ව‍ගෙ. මෙලො සංසාරයක් තේරෙන්නෙ නෑ. 6, 7 වසර වලදිනම් හිටියෙ මැඩම්ල දෙන්නෙක් (අපේ ඉස්කෝලෙ මිස්ලට කියන්නෙ මැඩම් කියල). 8, 9 වසරෙ හි‍ටියෙ සෑර් කෙනෙක් නසාර් කියල. මුස්ලිම් සෑර් කෙනෙක්. තාමත් අපේ ඉස්කෝලෙ පොඩි එවුන්ට දෙමළ උගන්නන්නෙ මේ සෑර් තමා. මේ සෑර්ට මම කොච්චර කැමතිද කිව්වොත් මුලු ජීවිතේටම පළවෙනි පීරියඩ් එක ක‍ට් කලෙත් 8 වසරෙ දෙමළ පීරියඩ් එකේදි තමා.

මේ සෑර් ළමයින්ට ගහන්නෙත් ලොවෙත් නැති විදිහකට. මුලින්ම ගහන්න ඕන එකාව ඇදල ගන්නව ඉස්සරහට බඩවැල් බොකු ඔක්කොම එලියට එන වේගෙකින්. ඉස්සරහට ඇරගෙන පොඩ්ඩක් වටේ කැරකිල දකුණු අත ගේනව ඔලුව ගාවට. ඊට පස්සෙ ආයෙත් දකුණු අත හෙමීට පස්සට ඇරගන්නව. ආයෙත් ඔලුව ලගට ගේනව. ඔය විදිහට ගහන්න කලින් හතර පස් පාරක් කරනව. ඊට පස්සෙ තමයි ගහන්නෙ. වේවැලකින් ගහද්දි තව විකාරයක්. මුලින්ම වේවැල ඇරගෙන සර්ගෙම කකුලට ගහගෙන බලනව රිදෙනවද කියල. ‍ඊට පස්සෙ හතර පස් පාරක් වේවැල වනල එක පාරක් දෙපාරක් ගහනව. කොච්චර විකාර විදිහට ගැහුවත් ඒ ගහන පාරවල් සැහෙන්න රිදෙනව. ඒ නිසා ගුටි කන්න සේරම වගෙ බයයි.

ඒ කාලෙ ගොඩක් අයට දෙමළ වල‍ට තිබ්බෙ ලකුණු 40ට අඩුවෙන්. මටනම් 30ට අඩුවෙන්. ඉතිං ලකුණු අඩු එවුනට 9 වසරෙදි පංතියක් පටන් ගත්තා. සල්ලි ගෙවල යන්න ඕන පංතියක්. ලකුණු අඩුනම් පංතියට යන්නම ඕනෙ. නැත්නම් ගුටි කන්න ඕනෙ. මමනම් ඔය පංතිය පැත්ත පළාතක ගියෙ නෑ. සර් ගාව තිබ්බ පිට රට යාළුවෙක් දුන්න ෆෝන් එකක්. නොකියා පරණ ලදරම් ෆෝන් එකක්. මං හිතන්නෙ 1100 එකකටත් වඩා පරණ එකක්ද කොහෙද. මට මොඩල් එකනම් මතක නෑ. කොහොම හරි 9 වසරෙදි ඔය ෆෝන් එක අල්ලගෙන සර්ව බයිට් කලා නැති වෙන්න. සර් ෆෝන් ගැන දන්නෙ නෑ. ඉතිං සමහර කොල්ලො ෆෝන් එක ගැන අහනව. අහල කියනව “මරු ෆෝ‍‍න් එක සර් දෙන්නෙ නැද්ද?” කියල. සර් අහනව “දීල ගන්න වෙන එකක් ගන්න බැනෙ පුතා. පුතා මේක‍ කොච්චර විතර ගානකට දෙන්න පුලුවන්ද?” කියල. අනිත් පැත්තට කොල්ලො කියනව “සර් මේක 30කට විතර දෙන්න පුලුවන් සර්. කෝල් ගන්නත් පුලුවන්නෙ සර්. මැසේජ් ගහන්නත් පුලුවන්. 30කට වැඩි ගානටකට වුනත් දෙන්න බැරි වෙන එකක් නෑ.” කියල. සර්ටත් ඉතිං හැපි. එදාට මුලු පීරියඩ් එකම ෆෝන් එක ගැන තමයි. හැබැයි දවසක් සර් ඇවිල්ල කියනව “බලන්නකො පුතා, මම ෆෝන් එක දෙන්න ඇහුව. 5000කට වඩා දෙන්න බෑ කියල කිව්වනෙ” කොල්ලො “සර් රැවටිල 5000කට දෙන්න එපා සර්. වැඩි ගානකට දෙන්න පුලුවන්” කියල. ඔය විදිහට 9 වසරෙදිම සර්ව බයිට් කර කර තමයි හිටියෙ.

එක දවසක් මොකක් හරි ගෙදර වැඩක් දීල පංතියේම පොත් බලනව. කරල නැති එවුන්ට ගහනව කියල හැ‍මෝම වගේ දන්නව. ඉතිං වැඩ කරන්නෙ නැති එවුන් සර් පොත බලන්න ආපු ගමන් “සර් පංතිය කීයටද සර් තියෙන්න?” කියල අහනව. පංතිය ගැන අහපු ගමන් ගෙදර වැඩ අමතකයි. පංතිය පටන් ගන්න වෙලාව, ඉවර වෙන වෙලාව ගාන එහෙම කියල ඉවර වෙලා පොත බලන්නෙ නැතුව ඊළග එකා ගාවට යනව. ඌත් වැඩ කරල නැත්නම් ඌ අහන්නෙ ෆෝන එක ගැන. “සර් ‍ෆෝන් එක දුන්න ද” කියල අහපුවාම ඒක ගැන කියවන්න ගන්නව. ආයෙත් ඉතිං පොත බල අමතකයි. ඔහොම මාරුවෙන් මාරුවට පංතිය ගැනයි ෆෝන් එක ගැනයි අහල ‍ශේප් වෙන දවස් තියෙනව. ඒ දවස් කොච්චර සුන්දරද කියල තේරෙන්නෙ මේ උසස් පෙළට ආවට පස්සෙ තමයි. ආයෙත් ඒ කාලෙට යන්න තියෙනවනම්.

ප.ලි. මේ ගැන ලියන්න ඕනෙ කියල මතක් වුනෙ ලගදි දවසක අපෙ පරණ සෙට් එක අලුතෙන් ඒ/ලෙවල් කරන්න ආපු එවුන්ට හිටපු සර්ල ගැන කියල දෙද්දි. එහෙම කියල දෙද්දි තව සර් දෙන්නෙක් තුන්දෙනෙක් ගැන කියවුනා. මතක් වුන වෙලාවක ඒ ගැනත් ලියන්න ඕනෙ.