ටැග

,

ටිකිරියි කලුයි කියන්නෙ ‍අපේ ගෙදර ඉන්න පූසො දෙන්නා. මේ දෙන්න වැඩියෙන්ම ආදරෙ අපේ අම්මට. ඒ ඉතිං කන්න දෙන හින්ද තමයි. කලුයි, ටිකිරියි දෙන්න හරිම හොඳයි, නිදා ගෙන ඉන්න වෙලාවට. නැගිටල ඉන්න වෙලාවකටනම් අපිට කවදාවත් නිවි සැනසිල්ලෙ බත් එකක් බෙදාගෙන කන්න දෙන්නෙම නෑ. ඒ ගැන පස්සෙ කියන්නම්කො.

ටිකිරි තමයි ලොකු එක්කෙනා. දැන් අවුරුදු 3ක් විතර ඇති. කලින් හිටපු පූසා නැතිවුනාට පස්සෙ ගෙදර මීයො බෝ වෙලා කියල කොහෙන්ද අම්මමයි කිව්වෙ පූසෙක් හොයාගන්න ඕනෙ කියල. ඉතිං ලග ගෙදරකින් පූස් පැටියෙක්ව ගෙනාව. ඒ දවස් වලනම් මං පොඩි පැටියව අල්ලන්නත් බයයි. හැබැයි අක්කනම් ඌව ඇරගෙන තුරුලු කරගෙන එක විකාරයක්. පොඩි කාලෙ ටිකිරිට වටේ ඉන්න පූසන්ගෙන් කේස් ගොඩක් තිබ්බ. අපි නැති වෙලාවට කොහෙන් හරි ඇවිත් ටිකිරිට හපන්නමයි හදන්නෙ. ගෙනල්ල මාස දෙකක් විතර යද්දි අපි ගෙදර නැති වෙලාවක කොහෙ හරි ‍පූසෙක් හොඳටම හපල ගොඩක් තුවාල වෙලත් තිබ්බ. අපි හිතුවෙ බේර ගන්න බැරි වෙයි කියල. ඒත් බෙහෙත් කරල කොහොම හරි බේර ගත්ත. අහ්.. ටිකිරි කියන නම හැදුනෙත් අපූරු විදිහකට. මුලින්ම නම දැම්මෙ හැම පූසෙක්ටම දාන නමම තමයි. කිටී. හැබැයි අම්ම උදේ පාන්දර නැගිටල මූට කතා කරනව. ඉක්මනට කතා කරන නිසා නම පැටලිල කිටී වෙනුවට ටිකී කියලත් කියවෙනව. එහෙම කියල ටික කාලෙකින් ටිකී ටිකිරි වුනා.

ටිකිරිගෙ වැඩේ නිදා ගන්න එක තමයි. නිදා ගන්නෙත් එසේ මෙසෙ තැන් වල නෙවෙයි. ලස්සන මොකක් හරි දෙයක් දැක්කොත් ඒකෙම නදා ගන්න ඕනෙ. පුටුවක් උඩ, මේසයක් උඩ තමයි වැඩි පුරම නිදා ගන්නෙ. නිදා ගත්තහමනම් හරිම ශෝක්. අමුතු අමුතු පාට් තමයි තියෙන්නෙ. ගොඩක් වෙලාවට මිනියෙක් වගේ අතින් මූන වහගෙන නිදා ගන්නව. මේ අවුරුදු තුනටම ටිකිරි මීයො අල්ලන්න ඇත්තෙ 2ක් හරි 3ක් හරි තමයි. ඒ තරම් කම්මැලියි. ඒකට කලු. ඊයෙත් තඩි මීයෙක් අල්ලගෙන හිටිය.

ඊලගට කලු. දැන් ඇවිල්ල අවුරුද්දක් විතර ඇති. කවුරු හරි ගෙනත් දාපු එකෙක් වෙන්න ඕන. කලුම කලු පාට පූස් පැටියෙක්. ඌවත් අක්ක වඩාගෙන ඇවිත් නාවල කරල කන්න දීල ගෙදරම හදා ගන්නව දැන්. ඌනම් මහ කුපාඩි වැඩ තමයි කරන්නෙ. සත්තු අල්ලන එක තමයි වැඩි පුරුම කරන්නෙ. දවසට එක පාරක් මුලු ගෙදරම අස්සක් මුල්ලක් නෑර සුද්ද කරගෙන යනව සත්තු හොයාගෙන. එහෙම සතෙක් හම්බ වුනේ නැත්නම් එලියෙන් ගෙම්බෙක් හරි අල්ලගෙන එනවමයි.

කන්න ගිහාම තමයි මුන් දෙන්නගෙන් බේරෙන්න බැරි. කලූ නම් බඩගිනි වුනාම කෑ ගගහ ඇවිත් කකුල හපනව. බත් එකක් බෙදාගෙන ඇවිත් පුටුවකින් වාඩි වුනහම මේ දෙන්න දෙපැත්තෙ පුටු දෙකට‍ නැගල කෑම පිගානට මූන දානව. වැරදිල හරි අහක බැලුවොත් පිගානෙනුත් කනව. කෑම උයන වෙලාවටනම් දෙන්නට අම්මගෙන හොදට පාරවල් වදිනව. කොයි වෙලෙ බැලුවත් උඩට නැගල උයන කෑම එකට මූන ඔබන්නමයි හදන්නෙ. ඉතිං අම්ම පොල් කොලයක් ඇරගෙන දෙන්නටම ගහල පන්නනව. ඒ මොනව කලත් අම්ම මේ දෙන්නටම මටයි, අක්කටයි තරම්ම ආදරෙයි. මස් මාළු නැතුව මුන් දෙන්න කන්නෙ නෑ කියල දන්න නිසාම සමහර දවස් වලට වෙනම කෑම හදනව පූසො දෙන්නට කියල. හවස් වෙද්දි පූසො දෙන්න ගෙදර නැත්නම් දැක්කද කියල හැම වෙලාවෙම අපෙන් අහනව. ඒ තරමටම අම්ම මේ දෙන්නට ආදරෙයි.

මටනම් මුන් දෙන්නව ඕ‍න වෙන්නෙ ෆොටෝ එකක් ‍ගන්න විතරයි. නිදාගෙන ඉද්දි ලස්සන ලස්සන ෆො‍ටෝ ගන්න පුලුවන් මේ දෙන්නගෙ. වැඩි පුරම ටිකිරිගෙ. ඉතිං මේ තමයි ‍අපේ ගෙදර සුරතලුන් දෙන්න.